PET ස්කෑනරයක් වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි.

මහරගම ‘අපේක්ෂා’ ජාතික පිළිකායතනයට අවශ්‍ය පෙට් ස්කෑනරයක් මිලදී ගන්නට රටේ ජනතාව විසින් අරමුදල් එක් රැස් කර තිබියදීත්, රාජ්‍ය අංශයේ නොසැළකිල්ල සහ අකාර්යක්ෂමභාවය නිසා එය මිලට ගැනීම ප්‍රමාද වීමත්, ඒ අරමුදලට හේතු වූ රෝගියා මිය යාමේ පුවතකුත් පහු ගිය කාලයේ අපිට අහන්නට ලැබුණා. ඒත් එක්කම මේ වෛද්‍ය පරීක්ෂණය ගැනත්, සෞඛ්‍යයට රජය විසින් දක්වන කුඩම්මාගේ සැළකිල්ල ගැනත් සමාජ ජාල තුළ ලොකු කතා බහක් ඇති වෙලා තිබුණා. කොහොම වුණත් බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැහැ පෙට් ස්කෑනරයක් කියන්නේ මොකද්ද, ඒක ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ නිසා අපි තීරණය කළා අද ඒ ගැන කතා කරන්න.

පෙට් ස්කෑන් අයිති වෙන්නේ වෛද්‍ය පරීක්ෂණ වේදයේ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන ක්ෂේත්‍රයටයි. න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ විකිරණශීලී සමස්ථානික යොදාගෙන සිදු කරන වෛද්‍ය පරීක්ෂණ වලටයි. PET කියන එකේ තේරුම පොසිට්‍රෝන විමෝචන පරිලෝකනය – Positron Emission Tomography – කියන එකයි. (පෙට් හැරුණු කොට SPECT (Single Positron Emission Computed Tomography) වැනි ස්කෑන් ක්‍රමත් මෙහිදී යොදා ගැනෙනවා. නමුත් අපි පහසුව තකා පෙට් ස්කෑනර් ගැන පමණක් කතා කරමු.) න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණ යොදා ගන්නේ ශරීරය අභ්‍යන්තරයේ යම් ස්ථානයක ව්‍යුහය හෝ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැන ගැනීමටයි. පිළිකා සම්බන්ධ රෝග, මොළයේ ස්නායු සම්බන්ධ රෝග සහ හෘද රෝග හඳුනා ගැනීමටත්, ප්‍රතිකාර වල ප්‍රගතිය පරීක්ෂා කර බැලීමටත් මේ ස්කෑන් ක්‍රම වැදගත් වෙනවා.

ශරීර අභ්‍යන්තරයේ ව්‍යුහය පරීක්ෂා කරන්න CT ස්කෑන්, MRI ස්කෑන් වගේ වෙනත් ස්කෑන් වර්ගත් භාවිතා වෙනවා. නමුත් පෙට් ස්කෑන් වල වැදගත්කම තමයි ඉන්ද්‍රියක ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කර ඒ හරහා තවමත් CT හෝ MRI මගින් දකින්නට නැති මුල් අවස්ථාවේ පවතින රෝගාබාධ පවා පුරෝකථනය කිරීමට හැකිවීම. මේ හේතුව නිසා දැන් පෙට් ස්කෑන්, CT හා MRI සමග හවුලේ එකට භාවිතා වෙනවා.

පෙට් ස්කෑන් එකක් සඳහා ශරීරය තුළට විකිරණශීලී සමස්ථානික සාම්පලයක් ඇතුළු කළ යුතුයි. මේ සඳහා බොහෝ විට සිදු කරන්නේ දේහයට අවශ්‍ය වන යම් සංඝටකයක එක් පරමාණුවක් පමණක්, විකිරණශීලී සමස්ථානිකයකින් ප්‍රතිස්ථාපනය කර සාදා ගත් රසායනික ද්‍රව්‍ය සාම්පලයක් දේහයට එන්නත් කිරීමයි. මෙහිදී ඉතාම බහුලව යොදා ගන්නා සංඝටකයක් ලෙස FDG (Fluoro Deoxy Glucose) හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පහසුව තකා අපි එමගින් පරීක්ෂණය කරන හැටි කතා කරමු. FDG නිර්මාණය කරන්නේ ග්ලූකෝස් අණුවක 2 වැනි ස්ථානයේ ඔක්සිජන් පරමාණුව වෙනුවට ෆ්ලුවොරීන් වල සමස්ථානිකයක් වන F18 පරමාණුවක් ඈඳා තියෙනවා. මේක සාමාන්‍ය ග්ලූකෝස්වලට බොහෝ දුරට සමාන සංඝටකයක් නිසා අපේ ශරීරය මෙය ග්ලූකෝස් ලෙසම සළකා ක්‍රියා කරනවා. ඒ අනුව FDG රුධිරය ඔස්සේ සමස්ත දේහය පුරාම පැතිරී යනවා. මතක තියා ගන්න, අපි රෝගියාට දෙන්නේ FDG සහ සාමාන්‍ය ග්ලූකෝස් වල මිශ්‍රණයක්. එහි FDG අඩංගු වෙන්නේ ඉතාම සුළු වශයෙන්.

අපි හිතමු අපේ රෝගියාගේ මොළයේ කුඩා පිළිකාවක් තියෙනවා කියලා. පිළිකාවක් කියන්නේ ඉතා වේගයෙන් ගුණනය වන අනවශ්‍ය සෛල එකතුවක්. පිළිකා සෛල වලට වේගයෙන් ගුණනය වෙන්න නම් ඒවායේ ශක්ති අවශ්‍යතාවයත් වැඩියී. ඒ නිසා ඒ වෙත සැපයෙන් ඔක්සිජන්, ග්ලූකෝස් වැනි සංඝටක ප්‍රමාණයත් වැඩියී. ඉතින් අපි ඕනෑම වෙලාවක බැලුවොත් දේහයේ අනෙක් කොටස් වලට සාපේක්ෂව පිළිකාව තුළ සහ අවට ග්ලූකෝස් ප්‍රතිශතය ඉහළයි. නමුත් දැන් අපි සාමාන්‍ය ග්ලූකෝස් එක්ක FDGත් දීලා තියෙන නිසා එතැන FDG ඝනත්වයත් වැඩියී.

FDG වල තියෙන F18 සමස්ථානිකය ඒ හැටි ස්ථායී නෑ. ඒ නිසා ඒවා ක්ෂය වී වඩාත් ස්ථායී පහළ මට්ටමකට පත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට පොසිට්‍රෝන නම් අංශුවක් බිහිවෙනවා. පොසිට්‍රෝනය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය සහිත, නමුත් ධන ආරෝපණයක් දරන ප්‍රති අංශුවක්. එය තමයි ඉලෙක්ට්‍රෝනයේ ප්‍රති පදාර්ථය. සාමාන්‍ය පදාර්ථයක් සහ ප්‍රති පදාර්ථයක් එකිනෙක් ගැටුණු වහාම ඒවා ශක්තිය මුදා හරිමින් සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා. මෙය හඳුන්වන්නේ නිරුද්ද වීම (annihilation) නමින්. ඉතින් මේ හැදෙන පොසිට්‍රෝනයත් ශරීරයේ පටකයක ඇති සාමාන්‍ය ඉලෙක්ට්‍රෝනයක ගැටුණු වහාම නිරුද්ද වී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නේ අංශක 180`කින් එකිනෙකට විරුද්ධ අතට විහිදෙන ගැමා කිරණ ෆෝටෝන දෙකක් නිර්මාණය වීමයි.

මේ සෑදෙන ගැමා කිරණ දේහය විනිවිද ඉන් පිටතට පැමිණෙනවා. ඒවා අනාවරණය කර ගැනීම තමයි පෙට් ස්කෑනරය විසින් කළ යුත්තේ. පෙනුමින් ඒක රූපයේ පේන විදිහේ ඩෝනට් එකක් වගේ උපකරණයක්. මේ කුටිය තුළට රෝගියා ඇතුළු කළ පසුව තමයි අපි FDG එන්නත් කිරීම සිදු කරන්නේ. දැන් දේහයෙන් පිටතට එන ගැමා කිරණ කුටියේ බිත්ති වල ඇති උදිලුම් පළිඟු (scintillation crystals) මගින් ආලෝක ෆෝටෝන බවට පරිවර්තනය කරනවා. ඉන්පසු ප්‍රකාශ වර්ධක නාළ මගින් ඒවා විද්‍යුත් සංඥා බවට පත් කරනවා. මේ විද්‍යුත් සංඥා වලට අනුව දේහයේ අදාල කොටසේ FDG ව්‍යාප්තියේ ත්‍රිමාන රූප සටහනක් පරිගණක මගින් නිර්මාණය කෙරෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් පිළිකාවේ ව්‍යාප්තිය දක්වන් රූප සටහනත් එයම තමයි. මොකද ග්ලූකෝස් භාවිතය සෛල වර්ධක වේගයට සාමානුපාතිකයි කියලා අපි කිව්වනේ. ඒක බැලුවහම වෛද්‍යවරායට හැකියාව තියෙනවා වඩාත් ගැලපෙන රෝග විනිශ්චයකට එළඹෙන්න.

පෙට් ස්කෑන් කියන්නේ රෝග විනිශ්චය සඳහා අපිට තියෙන බොහොම නිරවද්‍ය සහ වේදනා රහිත ක්‍රම වේදයක්. පරීක්ෂණයෙන් පසු ඇති විය හැකි සුළු ඔක්කාරයක් හෝ හිසේ රුදාවක් ඇරෙන්න මෙහි සැළකිය යුතු වෙනත් අතුරු ආබාධ නැති තරම්. ශරීරයේ තියෙන ඉතුරු විකිරණශීඑලී සමස්ථානික ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් මුත්‍රා සමග පහ වෙලා යනවා. කොහොමත් පැය කිහිපයකට පසු බලන විට හඳුනාගත් හැකි මට්ටමේ ගැමා කිරණ විමෝචනයක් සිදු වෙන්නේ නැහැ. නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රයක් ඉතා සූක්ෂමව නිර්මාණය කර ඇති නිසා එහි මිල අධිකයි. ඒ නිසා ලංකාව වගේ රටක මෙය නිර්දේශ කරන්නේ අඩුවෙන්. කෙසේ වෙතත් පෙට් ස්කෑනරයක් සඳහා අවශ්‍ය වන මුදල සොයා දීලත් නිසි කලට එය මිලදී ගැනීමට නොහැකි වීම අපේ රාජ්‍ය අංශයේ ලොකු අඩුපාඩුවක්. මොකද නිසි කාලයට පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කරන්න හැකියාව තියෙනවා නම් එය වෛද්‍යවරුන්ට පහසුවක් වෙනවා වගේම රෝගීන්ගේ ජීවිත දිගු කිරීම පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට මහත් පිටිවහලක් වෙනවා.