ව්‍යවස්ථාව පදනම් කරගෙන අන්තවාදී තත්ත්වයක් ඇති වෙලා

නව ව්‍යවස්ථාවක් සම්පාදනයට කෙටුම්පතක් තවම සකස් කොට නොමැති අතර පවතින්නේ විවිධ පක්ෂවල යෝජනාවලින් සමන්විත වාර්තාවක් පමණක් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පවසයි.
එය මුළු පාර්ලිමේන්තුවේම අදහස නොවන බව අමාත්‍යවරයා අද(25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වාර්තාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු ම දේශපාලන පක්ෂ යෝජනා ඇතුළත් කොටට ඇති බවත් මෙම වාර්තාව අනුව ඉදිරියේ දී කෙටුම්පතක් සකස් කළ යුතු අතර ම එම අවස්ථාවේ දී මහානායකහිමිවරුන් සමඟින් සාකච්ඡා කිරීම සිදුවන අතර මහජන අඳහස් ලබාගැනීම සඳහා ද කටයුතු කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පළාත් සභාවල බලය බෙදීයාම සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න පවතින බව තමන් පළාත් අමාත්‍ය ධුරය දැරීමේ දී තේරුම් ගිය බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා පවතින ප්‍රශ්න විසඳාගනිමින් ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු සෙසු පක්ෂයන් ද ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය යන මතයේ පසු වෙන බවත් මීට ඉහත දී එක් පක්ෂයක් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් වන අවස්ථාවේ දී අනෙක් ප්‍රධාන පක්ෂය විරුද්ධව කටයුතු කළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වන කරුණු ඇතුළත් වාර්තාව පදනම් කරගනිමින් විවිධ අර්බුධකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බවත් මෙම ප්‍රශ්නය අන්තවාදීව කටයුතු කිරීම හරහා විසඳාගැනීමට කටයුතු කිරීම හරහා තවත් අන්තවාදී තත්ත්වයක් නිර්මාණය වීමට අවස්ථාව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.