ඇමැති වජිරට ආණ්ඩුව ගැන සැකයක්- අගමැතිටත් දැන්වූ බව කියයි

‘මේක ආණ්ඩුවක් ද කියලා මට සැකයක් තියෙනවා. මම අගමැතිතුමාටත් මේ බව කිව්වා.” යැයි ස්වදේශ කටයුතු අමාත්යෙ වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ ඊයේ (25) ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ගංවතුරින් විපතට පත්වූ පවුල් 995ක් වෙනුවෙන් මුළුතැන්ගේ උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.

මේ විදියට ආපදා වෙනුවෙන් ආධාර දීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. නමුත් අපි රජයක් ලෙස ජනතාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දේ දෙනවා.” යනුවෙන්ද හෙතෙම පැවැසීය.

අබේවර්ධණ අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

කොලොන්නාවට පමණක් 2016 හා 2017 වර්ෂ දෙකේ දී ආපදා සඳහා වන්දි ලෙස පමණක් ලක්ෂ 30,000ක් බෙදා තිබෙනවා.

පසුගිය දා ගාල්ලේ තේ කර්මාන්තය නංවන්න අවශ්‍ය නිසා කුඩා තේවතු හිමියන්ට ගංවතුරින් සිදුවූ හානියට රුපියල් කෝටි 16ක් දුන්නා. තේ කර්මාන්ත ශාලා හිමියන්ට රුපියල් කෝටි 17ක් බෙදුවා.

ගංවතුරින් ආපදාවට ලක්වූ හැමෝටම විටින් විට ආධාර දුන්නා. මේ මම කිව්වේ බොහොම ටිකයි. ඔබේ හදවතට තට්ටු කරලා බලන්න. මෙහෙම ආණ්ඩුවක් කවදාවත් තිබුණේ නැහැ.

තව ගෙවල් කැඩුණු ඒවට දුන්නා. පාරවල් හදන්න සල්ලි දුන්නා. ගංවතුර එන්න ඉස්සෙල්ලා හිටියට වඩා හොඳින් ඔබ තැබීමට අපි කටයුතු කරලා තියෙනවා.

අපි රජයක් ලෙස බලනවා ඉදිරියේ දී මේ ගංවතුර පාලනය කරන්න. දැන් ඒ සැළසුම් අනුමත කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ මේ වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ කවදාවත් ගාල්ලට ගංවතුර එන්න අපි ඉඩ තියන්නේ නැහැ.