දිවුලපිටියේ වෙඩි හුවමාරුවේ තවත් තොරතුරු හෙළි වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පාතාල සාමාජිකයන් බවට සැක කෙරෙන පිරිසක් අතර දිවුලපිටිය, හේන්පිටිගෙදර ප‍්‍රදේශයේදී දී අද (23) දහවල් සිදු වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා.

මෙම වෙඩි හුවමාරුවේදී  පාතාල සාමාජිකයෙකු බවට සැක කෙරෙන එක් අයෙකු මිය ගියා. ඔහු  නිල්පනාගොඩ මිනුවන්ගොඩ පදිංචි වයස අවුරුදු 35ක් පමණ වූ නාවලගේ කුෂාන් තක්ෂිල කුරේ නැමැති අයෙක්.

ලද තොරතුරකට අනුව වැටලීමක් කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දිවුලපිටිය, හේන්පිටිගෙදර ප‍්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී පාතාල සාමාජිකයන් බවට සැක කෙරෙන පිරිස ඔවුන්ට වෙඩි තබා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළා.

වෙඩි හුවමාරුවෙන් පසු සැකකරුවන් 07 දෙනෙකු ද ඔවුන් ට අයත් බව කියන වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තා. පිස්තෝල 02ක්, ප්ලාස්ටික් පිස්තෝලයක් සහ අත්බෝම්බයක් ද ඔවුන් ළඟ තිබී සොයා ගෙන තිබෙනවා.

සිද්ධියේදී තවත් සැකකරුවන් දෙදෙනෙක් පළාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයෙකු බවයි පොලිස් ආරංචි පවසන්නේ. ඔහු ආසිරි රොඞ්රිගෝ නැමැත්තෙක්.

පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව බිරිඳවද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඉන්දිය ජාතික කාන්තාවක් බවයි පොලිස් ආරංචි පවසන්නේ. හිටපු මන්ත‍්‍රීවරයාගේ නිවසේ තිබී පතොරම් තොගයක් සොයා ගෙන තිබෙනවා. ඔහුගේ භාර්යාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි.