ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් රන් භාණ්ඩ සොරාගෙන

ත්‍රීරෝද රථ රියදුරන්ගේ රන් භාණ්ඩ හා දේපළ  සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු පන්විල සහ රක්වාන යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

අදාල සැකකරුවන් විසින් කුලී ගමන් යන ත්‍රීරෝද රථ රියදුරන් සමඟ හිතවත් වී ගමන අතරතුර මත්ද්‍රව්‍ය  මිශ්‍ර බීම වර්ග පානය  කිරිමට දී රියදුරන් මත්විමෙන් පසු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා ඇති බව වාර්තාවේ.

අත්අඩංගවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කරීම්වලදී කඳාන සහ බොරැල්ල ප්‍රදේශයේදී  සිදු කරන ලද එවැනි සොරකම් දෙකක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත් බව පොලීසිය සඳහන් කළේය.
එහිදී ඔවුන් සතුව තිබී ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 70ක් බරැති රන් කැබැලි 05ක් සොයාගෙන තිබේ.