ලොව වඩාත්ම ආපදාපන්න සාගර ක්ෂීරපායියන්ගේ සංඛ්‍යාව 30ට බසියි

මැක්සිකෝවේ,  කැලිෆෝනියා බොක්කේ පමණක් දැකිය හැකි කුඩා පෝපොසකුවන  (තල්මසුන් වැනි වර්ගයක් වන) වැකුයිටා දැන් නෂ්ටප්‍රාප්තවීමේ (extinction ) හෙවත් වඳවීයාමේ අවදානමට ලක්ව සිටිතියි විද්‍යාඥයෝ වාර්තා කරති.  මේ සතුන් නගන ‘ක්ලික්’ හඬ පදනම් කරගනිමින් පසුගිය ගිම්හාන සමයේදී  සිදු කළ ධ්වනි ශ‍්‍රවන සමීක්ෂණයකට අනුව චකුයිටා මසුන්ගෙන් දැන් ලොවම ඉතිරිව ඇත්තේ ඒකෛක  සතුන් 30ක් පමණකි.

මැක්සිකෝව සිදු කළ අහිතකර දැල් භාවිතය තහනමවත්, නාවික හමුදාවේ මුර සේවාවන්වත් මේ අවාසනාවන්ත තත්ත්වය මඟ හැරවීමට අසමත් වී ඇති බවත් තමයි වාර්තාවෙන් පළවෙන්නේ. දැනට ඉතිරි සතුන්ගෙන් කිහිපදෙනෙකු අල්වාගෙන භාරයේ සිටියදී අභිජනනය(බෝ කිරීම) කිරීම වස් ක්‍රියාත්මක කිරීමට  නියමිතව තිබූ මතභේදාත්මක  වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාවද පැන නැග ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. “තත්ත්වය දැන් පාලනයෙන් බැහැරව ගොසින්”   යයි  මැක්සිකෝවේ    එන්සෙනාඩාහි පරිසරවිද්‍යා හා දේශගුණ විපර්යාස පිළිබඳ ජාතික ආයතනයේ සිටේසියානු (තල්මසුන්ම, ඩොල්පින් වැනි සතුන් පිලිබඳ) විශේෂඥයකු වන ලොරෙන්සෝ රොජාස් බ්‍රකෝ කියා සිටී, “වැකුයිටා අල්ලා ගැනීමට යාමේදී යම් අවදානමක්  තියනවා තමයි. ඒත් ඉතින් එහෙම අල්ලා නොගත්තත්   දැල්වලට අසුවී ඔවුන් කොහොමත් මිය යන බව පැහැදිලියි”. හෙතෙම මැක්සිකෝ රජයට උපදෙස් සැපයීම සඳහා පත් කර ඇති වැකුයිටා පුනුරුත්ථාපන අන්තර්ජාතික  කමිටුවේ ද සාමාජිකයෙකි.

නීති විරෝධී මත්ස්‍ය දැල්(gill net)

2015 වසරේ සිදු කළ සමීක්ෂණයක දී  පෙනී ගියේ වැකුයිටා සතුන් 60ක් පමණ  ඉතිරිව ඇති බවයි. ඔවුන් මෙලෙස ඉක්මනින් විනාශ මුඛයට ළං වන්නේ නීති විරෝධී මත්ස්‍ය දැල්(gill net) භාවිතය හේතුවෙනි. ඒවා බොහොමයක් ඇත්ත වශයෙන්ම යොදා ගනු ලබන්නේ තවත් ආපදාපන්න මත්ස්‍ය විශේෂයක් වන ටොටොආබා (totoaba) මසුන්  ඇල්වීමටය. මෙම සතුන්ගේ ප්ලවාශය(swim bladder),  චීනය ඇතුළු ආසියාතික රටවල ඩොලර් ලක්ෂයක තරම් කළුකඩ මුදලකට අලෙවි කළ හැකි බව ඇතැම් වාර්තාවල සඳහන් වේ. (අක්මා ආබාධවල සිට ආතරයිටස් දක්වා ලෙඩ රෝග ගණනාවක් සුව කිරීමට ඒවා ඉවහල්වේය යන වැරදි මතය හේතුවෙන් එවන් ඉහල මුදලකට අළෙවිය සිදුවෙතැයි කියැවේ).  “මේ ඉල්ලූම මෙතෙක් පාලනය කිරීමට හැකි වී නැහැ. දැන් ටොටො ආබා ධීවර පන්නය පාලනය කරන්නේ අපරාධ කල්ලියි” රොජාස් බ‍්‍රැකෝ කියයි.

වැකුයිටා මසුන්ට ගැලවී යා හැකි අන්දමේ වෙනත් දැල් (කැස්බෑවන් වෙනුවෙන් සාදා ඇති අන්දමේ දැල්) භාවිතයට යොමු කිරිමට ගත් ප‍්‍රයත්න ද අසාර්ථක වී ඇත්තේ ටොටො ආබා මරන්නන්ගේ විරෝධය සහ කඩාකප්පල්කාරී කි‍්‍රයා හේතුවෙනි.  මීට අමතරව, මැක්සිකෝවේ ජනාධිපතිවරයා සහ ඇ.එ. ජනපදයේ හිටපු ජනාධිපති ඔබාමා අතර වැකුයිටා ඉන්නා භූමි පරාසය තුළ මේ ආකාර දැල් භාවිතය මුළුමනින්ම ස්ථිරව තහනම් කරමින් 2016 අත්සන් තැබූ ගිවිසුමද මෙකී නීතිවිරෝධී කල්ලියේ  වර්යා වෙනස් කිරීමට බලපා නැත. වැකුයිටා ලැජ්ජාශීලී මත්ස්‍ය විශේෂයක් වන අතර ඔවුන් දැක ගත හැක්කේ කලාතුරකිනි. එහෙත් ඔවුන් ගොදුරු සොයා දඩයමේ යෙදෙන විට,  ඔවුහු ක්ලික් හඬක් නගති. පර්යේෂකයන් ධ්වනි ශ‍්‍රවන පරීක්ෂාවන් (acoustic survey) යොදා ගන්නේ එහෙයිනි. ඔවුන්ගේ නිගමනය වෙන්නේ තව වසර කිහිපයක් යද්දී වැකුයිටා නෂ්ටප‍්‍රාප්තවන බවයි.

බෝතල්නාස(bottle nose) ඩොල්පිනයෙක්

මොවුන් බේරා ගැනීමේ අවසාන වෑයමක යෙදෙමින් (මෙතෙක්  කි දෙනෙකු දැයි සංඛ්‍යාව දක්වා නොමැති) වැකුයිටා  මසුන් සංඛ්‍යාවක් අල්වා ගැනීමට විද්‍යායන් ඔක්තෝබරයේ දී උත්සාහයක යෙදුනු ඇත. කැල්ෆෝනියා බොක්කේ අඳුරු ජලයේ දී වැකුයිටා සතුන් සොයා ගැනීම පිණිස බෝතල්නාස(bottle nose) ඩොල්පිනයන් යොදා ගන්නට අදහස් කර ඇත. මෙම බොක්කේම වසන බෝතල්නාස ඩොල්පින් මේ සතුන් සමග කුලූපන ගතියක් දක්වති. මෙහිදී ඩොල්පින් මසුන්ට පුහුණුවක්ද ලබා දීමට නියමිතයි.

වැකුයිටා සතුන්  අල්වා අභිජනනය කිරීමේ වැඩ සටහන  ඉක්මනින්ම කි‍්‍රයාවට නැංවීමට රොජාස් බ‍්‍රැකෝ සහ කණ්ඩායම අපේක්ෂාවෙන් සිටිති. එහෙත් අවාසනාවකට මෙන් නිත්‍යානුකූල කොර්විනා  මත්ස්‍ය ධීවර කාලය ඉක්මනින්ම ආරම්භ කිරීමට නියමිතය. බලපත‍්‍ර 600 සිට 1000 දක්වා නිකුත් කිරීමට නියමිත අතර මෙය ‘පිස්සු කි‍්‍රයාවක්’ යයි රොනස් බ‍්‍රැකෝ විසින් විශේයෙන් හඳුන්වනු ලබන්නේ දැල් භාවිතය තහනම දිගටම කි‍්‍රයාත්මක වේ දැයි යන්න තවමත් පැහැදිලි නැති හෙයිනි. නීති විරෝධී දැල් තවමත් තර්ජනයක්ට පවතී. මේ වසර මුලදීත්  ධීවරයෙක් මිය ගිය තවත් වැකුයිටා මත්ස්‍යයෙකුගේ ඡයාරූපයක් ඔහුට පෙන්වා  තිබේ. “ඉතින් පසුගිය ගිම්හානයේ හිටියේ මේ සතුන් 30 නම් දැන් තවත් කිහිප දෙනෙකු හරි අඩුවෙලා ඇති” රොජස්බ‍්‍රැකෝ පෙන්වා දෙයි.

භාරයේ සිටිය දී අභිජනය (captive breeding)

“මේ සතුන්ට ඔවුන්ගේ වාස භූමිවල නිදැල්ලේ සිටීමට ඉඩහැරීම තමයි හොඳ. ඒත් දැන් සිදුවී තිබෙන්නේ නෂ්ට ප‍්‍රාප්තවීම වැළැක්වීම සඳහා ඔවුන් අල්වාගෙන භාරයේ සිටිය දී අභිජනය කිරීමට පමණක්” යයි ජොනාස් ටෙයිල්මාන් කියා සිටී. ටෙයිල්මාන් ඩෙන්මාක් හි ආර්හූස් විශ්වවිද්‍යාලයේ සිටේසිය ජිව විද්‍යාඥයෙකි.