සීගිරියේ වැඩ බලන්න විශ්‍රාමික මේජර්වරයෙක් – පුරාවිද්‍යා උපාධිධාරි විරෝධය පායි

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන සීගිරිය ව්‍යාපෘති කළමණාකාරවරයා ලෙස යුද හමුදාවේ විශ‍්‍රාම ගිය මේජර්වරයෙකු පත්කර යවා ඇතැයි වාර්තා වන බව පුරාවිද්‍යා උපාධිධාරි සංගමය පවසනවා.
එහි සභාපති පී. ජී. එන්. ඒ. ගමගේ පැවසුවේ විශය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයෙකු එම තනතුරට පත්වීම ගැන සිය සංගමය විරෝධය පළ කරන බවයි.
මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධනගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ එවැනි පත්කිරීමක් සිදුකර ඇත්දැයි තමන් නොදන්නා බවයි. ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකළයුතු බවද ඔහු ප‍්‍රකාශ කළා.
මේ පිළිබඳ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ පාලන ජයලත් මුත්තෙට්ටුවේගමගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ අදාළ ව්‍යාපෘතියේ කළමණාකරු ලෙස නොව වැඩ ආවරණ කිරීම සඳහා අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි. එය මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය පරිදි පත්කිරීම සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා