පාරිභෝගිකයන් ආනයනික සහල් ප්‍රතික්ෂේප කරනවා

මෙරට ජනතාවගේ ආනයනික සහල් පරිභෝජනය අඩු වී ඇති බව සහල් ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ වන විට වෙළෙඳපල තුළ දේශිය සහල් මිල ඉහළ යාමක් පැවතිය ද ආනයනික සහල් ඉතා අඩුමිලට අළෙවියට පවතින බව සහල් ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය කැදවුම්කරු හේමක ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

කෙසේවෙතත් ඇතැම් හේතූන් මත මෙරට පාරිභෝගිකයන් ආනයනික සහල් පරිභෝජනය ප්‍රතික්ෂේප කරන බව පෙන්නුම් කෙරෙන බව ඔහු කියා සිටියේය.

දේශීය සහල් වෙළඳපලේ වැඩි මිලට අළෙවි විම සම්බන්ධයෙන් අද දෙරණ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටිගේ මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු කියා සිටියේ එවැනි මිල ඉහළ යාමක් දක්නට නොමැති බවයි.

නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සහල් මිල පිළිබඳ අධීක්ෂණය කරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත් සහල් සඳහා පනවා තිබු පාලන මිල මේ වන විට ඉවත් කර ඇති අතර පාලනයකින් තොරව සහල් අලෙවි වීම සිදුවන බව වාර්තාවේ.

අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් දේශිය සහල් නිෂ්පාදනය අඩුවීමත් සමඟ දේශීය සහල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටිගේ මහතා සඳහන් කළේ දේශීය සහල් නිෂ්පාදනයේ යම් අඩුවක් පැවතියද  ආනයනික සහල් තොග ප්‍රමාණවත්ව පවතින බවයි.

දැනට ඇණවුම් කර ඇති සහල් මෙට්‍රික් ටොන් දස දහසක තොගයක් ලබන 24 වැනිදා මෙරටට ලැබෙන බව ද ඔහු කියා සිටියේය.